වවුලාගේ මඟුල කමු!
වවුලාගේ මඟුල් ගෙදරට යන හැමෝම එල්ලී සිටිය යුතුය.එල්ලී සිටියහැකි ක්‍රම දෙකකි.අත් දෙකෙන් එල්ලී සිටිය හැක. එල්ලීසිටියත් එවිට, ඔලුව කෙළින්ය; ඉහළින් ය. එතරම් අවුලක් නැත.ඔලුවට නිසි තැන හා ගෞරවය හිමිය.කකුල් දෙකෙන්ද එල්ලී සිටිය හැක.එවිට ඔලුව තියෙන්නේ අනිසි තැනකය.ඔලුවට මදිපුංචිකමක් සිදුවෙනවාමය.වවුලා එල්ලී සිටින්නේ ඔලුව පහළට සිටිනසේ යටිකුරු ලෙසය.එනිසා වවුලාගේ මඟුලට යන හැමෝටම එල්ලීසිටින්නට සිදුවන්නේද ඔලුව පහළට සිටින පරිදිය. වවුලකුගේ මඟුලක් වෙනුවෙන් ස්වභාවධර්මයා විසින් සර්වඅංග නිසිතැන පිහිටුවා තැබූ සම්මතය බිඳීම අනුවණ ක්‍රියාවකි.එනම් ඔලුවට අගෞරවයකි.එල්ලී සිටිනවා මදිවට ඔලුවත් පහළට සිටිනසේ එල්ලිලා හිටපංකො!මේ නොවිඳිනා දුකක් විඳින්නේ "වවුල්හපයක්" වැනි පළාත්සභා මන්ත්‍රීකමකටය!අවාසනාවක මහත එතරම්ය.මීහරකා,බූරුවා වැනි කකුල්හතරෙන් ගමන්කරන සත්ත්වයින්ගේද ඔලුව තියෙන්නේ කඳට ඉහළින් හා කඳට ඉස්සරහින්මය.ඔලුවට ගෞරවය ලැබෙන පරිදිය.පසුපසගාත්‍රා මගින් ඍජූ ඉරියව්වේ සිටීමට හපන් එකම සතා වූ මනුස්සයා, මී හරකෙක්වත් අනුගමනය නොකරන ඉරියව්වකින් ඔලුව පහළට සිටිනසේ එල්ලී සිටින්නේ වවුලාගේ මඟුල නිසාය.ඉතිරිවන "වවුල්හපයක" රස බැලීමටය.සමානුපාතිකව ලැබෙන "පළාබබා" මන්ත්‍රීකමක් සඳහාය.මඟුල අවසානයේ කාපු මඟුලකුත් නැත;බෙරේ පලුවකුත් නැත!මඟුල අවසන්වූ පසු මඟුල් ගෙදර අඩු-පාඩු ,හරි-වැරදි, කියන්නේද මේ මඟුලේ ආරාධනා සතුටින් බාරගෙන මඟුල්කාපු යාලුවෝමය.මඟුලට කෑම බීම ඇතුලු සියලුම වියදම් රජයේ මුදල්වලින් කෙරූබව විද්‍යාඥයකුගේ නවතම සොයාගැනීමක් ආකාරයෙන් මාධ්‍යහමු ඔස්සේ ජනතාවට එළිදක්වන්නේ මේ යාලුවෝමය.පාතාල මැරකම්, හොර තක්කඩි වැඩ,කොම්පියුටර් ජිල්මාට් සියල්ල එයට ඇතුළත්ය.සමහරවිට මඟුල අවසන්වනවිට තවත් අහිංසක ජීවිත කීපයක් බිලිපූජාවට ලක්වී තිබියහැක!මඟුලට යොදාගත් රාජ්‍යදේපළ ලැයිස්තු,රජයේ වාහනවල අංක තහඩුවල නොම්මර ආදී දූෂණ හෙළිකරන්නේ දත්මිටි කමින්, රෞද්‍ර ද මොකක්ද ආකාරයේ අභිනය සහිතවය.අහගෙන ඉන්න එකාගේ ඇඟේ මයිල් කෙළින්වෙන්නේය! ඔන්න ගැහුව මෙන්න ගැහුව වගේය!මේ අකටයුතු සියල්ල පිළිබඳ දැන දැනම මඟුලට හවුල්වී,වවුල්හපයක් වෙනුවෙන් මඟුලේ ආරාධනය බාරගෙන ඔලුව පහළට සිටිනසේ වවුලාගේ ගෙදර එල්ලුන හැටි එවිට කාට කාටත් අමතකය! මේ මඟුලට සහභාගිවීමේ වරද නුදුරු අනාගතයේදී ජනතාවට අවබෝධවී ඒ ගැන ප්‍රශ්නකළහොත්;විමසුවහොත් ඒ සඳහා සාදානිමකළ හෙවත් "රෙඩිමේඩ්" ස්වයංවිවේචනයක් තිබේ!වවුලාගේ මඟුලට ගියේ උපක්‍රමික අරමුණෙනි!ඔලුව පහළට සිටිනසේ එල්ලීසිටියේද උපක්‍රමික අරමුණෙනි!එහෙත් අපගේ උපායමාර්ගය වැටී තිබුනේ සමාජවාදය දෙසටය!එබැවින් අපගේ අතින් උපක්‍රමික වරදක් සිදුවූ බව පිළිගත හැක !එහෙත් තුන් හිතකින්වත් උපායමාර්ගික වරදක් නොකළ බව දිවුරා පවසමු!
එය අසාසිටින සාමාජිකයෝ සතුටින් විසිර යති.නිවැරදි මඟපෙන්වීමක් නොමැතිව අසරණවූ ජනතාව අසතුටින් උකටලීව, උදාසීනව, වැලයන පැත්තට මැස්ස ගහන්නට නොකැමැත්තෙන් තීරණයකරති.එබැවින් දිගටම වවුලාගේ මඟුල්වලට සහභාගිවෙමින් ගිනිවෙඩි,මල්වෙඩි පත්තුකරමින්, රබන් ගසමින් පාරදිගේ කිරිබත් කමින් ජනතාව සැණකෙළි පවත්වති.හැමෝම ජනතාව රවටන විට ජනතාව ද පෙරළා හැමෝම රවටමින් තමන්ද රැවටෙන්නේ ඒ ආකාරයෙනි. එබැවින් ජනතාවට දොස්පැවරීම වැරදිය.අලියා ද වවුලාගේ මඟුලට ලහි ලහියේ සූදානම්වෙයි. අලියෙක් ඔලුව පහළට සිටිනසේ එල්ලීමට නැට්ට හෙවත් වලිගය යොදාගතයුතුවේ.වානරපවුලේ අයට හැර අලියෙකුටනම් එය සම්මජාතියේ නොකළහැකි වැඩකි!හයිය හත්තිය අඩුවී වැහැරී සිටියත් අලියා , අලියකු බව පිළිගතයුතුය.අලියාට ඔලුවත් කෙළින් තබාගෙන හොඬවැලෙන්නම් එල්ලී සිටිය හැක.හැබැයි පුතෝ අත්ත බිඳී අලියා බිමට වැටෙන්නේ ලබ්බ පොළවේ ගැහුවා වගේය!කොහොමනමුත් අලියා බිමට වැටෙන්නේ ඔලුව උඩට හිටින ආකාරයට නිසා "ඩැමේජ් එක" තරමක් අඩුවියහැක!තවද වවුලන්ගේ වසුරු හෙවත් වවුල්බෙටි උඩටම අලියාද වැටෙන නිසා හානිය තරමක් අඩුවියහැක.එහෙත් ඔලුව පහළට සිටිනසේ එල්ලීසිටින අනෙක් සියලුදෙනාටනම් දෙවියන්ගේ පිහිටය!මේ අලිඇතුන් කුංචනාදය කෙසේවෙතත් කෙකරහඬින් හෝ නඟන නාදය සමඟ රතු සීනුවේ හඬ වවුලන්ගේ මංගල සීනුහඬට මුසුවී රට පුරා පමණක් නොව ලෝකය පුරාද වවුලාගේ මඟුලේ ප්‍රීතිය හා සහජීවනයේ, මිත්‍රත්වයේ, ප්‍රජාතන්ත්‍රයේ හඬ පතුරුවා හරින්නේය.ඒ හඬේ වාසිය ලැබෙන්නේ ජනතාවට නොව වවුලන්ටය.මේ වවුලෝ මා වවුලන් නොවෙති.කොස් ඇට වවුලන්; බටු වවුලන්; කිරි වවුලන් ද නොවෙති.මේ වවුලන්ලේ-වවුලෝය!වාසිය බලා "පිල්" මාරු කරන මෙන්ම "බිල්" මාරුකරන තැනැත්තාටද "වවුලා" යැයි කියන අතර ඒ වවුලන් හා මේ වවුලෝ අතරේනම් සමානකමක් ඇත.නිශාචර වවුලා අන්ධසතකු නොවුනත් ඌ ඉලක්කයට ගමන යන්නේ රේඩාර් තරංග සාස්තරයක පිහිටෙනි.මෙකී වවුලන්ටද එකී රේඩාර් තරංග ක්‍රමයකින් දේශපාලන බාධක මඟහැරයාමේ සාස්තරය පිහිටා ඇත.මේ මඟුලද එවැනි බාධක මඟහැරීමේ උපක්‍රමයකි. කෑම-බීම සඳහා මුඛයත් මලපහ කිරීමට අධෝමුඛයත් යන විවර දෙකක් අපට මෙන් වවුලාටද ඇත.මෙකී මඟුල් පවත්වන වවුලෝ මලපහ කිරීමට අමතරව, කතාකිරීම සඳහා ද බොහෝවිට යොදාගන්නේ අධෝමුඛයයි.මේ වවුලෝ ඩ්‍රැකියුලා බයිස්කෝප්එකක වගේ එක වරම බෙල්ල සිදුරුකර ලේ උරානොබොති.වැම්පයර් වවුලන් මෙන් අපේ ඇඟට පතට නොදැනී ලේ උරාබොන්නෝය.නිදාසිටින සතා;ධාරකයා අවදිනොවන ලෙස ලේ උරාබීමට වැම්පයර් වවුලා සමත්ය.එහෙත් ලේ උරාබීමට ලක්වඇති ජනතාව දැන් දැන් දේශප්‍රේමී නින්දෙන් මිදී පිබිදෙනු දක්නට ලැබීම සුබ ලකුණකි.වවුලාගේ මඟුලේදී සීනුව එල්ලන්න වෙන්නේද වවුල් ඉරියව්වට හෙවත් ඔලුව පහළටය!නොපිටටය!එසේ සීනුවේ බඳ උඩුඅතට තබා එල්ලීසිටිනවිට මණිගෙඩියේ දිව හෙවත් ඝණ්ටාර ගෙඩිය වැනෙන්නේ නැත.එය අප්‍රාණිකව බෙල්ල කඩා වැටුනාසේ පැත්ත වැටී පවතියි.එවිට සීනු හඬ නොකඩවා නොඇසෙන්නේය.එබැවින් වවුලාගේ මේ මඟුලට සීනුව අනුචිතය.වවුල් ඉරියව්ව වූ "අප් සයිඩ් ඩවුන් ක්‍රමය" සීනුවේ ප්‍රාණය නසන්නේය!මෙය යමෙකුට වැටහුණාට ඵලක්නැත. ඒ ඒ අයගේ උපක්‍රම ඒ ඒ අයගේ උපායමාර්ගවලට උචිත පරිදිය!වවුලාගේ මඟුලේ ආරාධනය එකහෙළා ප්‍රතික්ෂේපකොට මඟුල වර්ජනය කරපු උදවියට, ඔලුව පහළට සිටිනසේ වවුල් ගෙදර එල්ලී සිටින යාලුවෝ "කොචොක්" කරති."මොනවද ඕයි; එනවකො මේ අපි වගේ වවුල්හපයක රස බලන්න...තමුසෙලාට ඒකටවත් හයියක් නෑනේ!මඟුල් ගෙදරට එළියෙන් ඉඳගෙන විවේචන කර කර ඉන්නෙ..අපි වගේ ඔලුව පහළට තියාගෙන විවේචනයක් දෙනගමන් වවුල් හපයක් අනුපාතෙට බෙදාගෙන කමුකො" .-දෙවිවරු සමහර ස්ථානවල පා නොතබන බව ජනවහරකි!!වවුලාගේ මඟුල කෑමේ ක්‍රම දෙකක් ඇත.මඟුලට සහභාගිවී දෙන දෙයක්;වවුල්හපයක්, ඔලුව පහළට තබාගෙන වැළඳීමය.ඔලුව පහළට නිසා ,ටික වේලාවකින් කාපුවා කටින් පිටවෙන එක දැකීම; ඇසීම,අප්පිරියාවක් වුවද ඒක වෙනම කතාවකි.දෙවෙනි ක්‍රමයත් කෑමකි! මඟුල් ගෙදර නොගිහින් මඟුල කා දැමීමකි!"වැඩේකනවා" කියන්නේ අන්න එවැනි උපක්‍රමවලටය.වවුලාගේ මඟුලේ වැඩේ කන්නේ මඟුල වර්ජනයෙනි.වවුලාගේ රෙදි ගැලවෙන්න බැන වදින මහත්වරුන්ට වවුලා මේ ආකාරයට පරාජය කිරීමේ උපක්‍රමය නොවැටහෙති.වැටහුනත් නොවැටහුනු ලෙසම ක්‍රියාකරති.දැන දැනම උගුලේ වැටෙති!සතුරා සමඟ තරගකිරීමෙන් මෙන්ම, සතුරාට තරගයක් නොදී සතුරා තනිකිරීමෙන්ද ඌ පරාජය කළහැක.කතාකිරීම මෙන්ම කතානොකිරීම හෙවත් නිහඬබවද විරෝධය දැක්වීමේ ක්‍රමයකි.වවුලාගේ මඟුල පිළිබඳව අද දවසේ නිවැරදි තීන්දුවකට එළඹිය නොහැකි පිරිසට පහත සඳහන් ප්‍රකට කියමනට මුවාවී ඇඟබේරාගත හැකිය."හෙට දවසේ අනාගතය උදාවනවිට අද දවසේ වර්තමානය,ඉතිහාසය බවට පත්වේ. වවුලාගේ මඟුල ට සහභාගිවීම හෝ මඟුල වර්ජනය හෝ යන ක්‍රියාමාර්ගයන් දෙකේ හරි වැරැද්ද ඉතිහාසය විසින් තීරණය කරනු ලැබේ"!අවසානයේ මාධ්‍යහමු ඔස්සේ අංක ගණිතය හා උසස්ගණිතය පාඩම ඇරඹෙයි! වවුලාගේ මඟුල කෑමෙන් පසුව ලැබුන "වවුල්හප" පිළිබඳ උජාරු කතා කියමින් ; ප්‍රතිශතය වර්ධනයවීම; සංඛ්‍යානවගු; වට ප්‍රස්තාර; ස්ථම්භ ප්‍රස්තාර ආදී එකී නොකී දෑ පදනම්කරගෙන කෙස්පැලෙන තර්ක ඉදිරිපත්කරමින් , උන්න හැටියට මළා හොඳ මඳිද යැයි විමසීම ඇරඹෙන්නේය.කොහොමින් කොහොමින් හරි වවුල් මඟුලෙන් පසු මඟුලටගිය කාගෙ කාගෙත් මල්ලේ තරමට කල්ලමරේය!ජනතාවගේ මල්ල හැමදා හිස් ය!කබලෙන් ලිපට වැටුණ ජනතාවට ඉන් මිදීමට මගක්; පිහිටක්, මේ කිසිදු මඟුලකින් ඉටුනොවන්නේය. වවුලාගේ ඉතිරි මඟුල්තුලා වලට සහභාගීවෙනවාද නැද්ද යන්න පිළිබඳ හරි තක්සේරුවකට පැමිණීමට නුවණ හා නුවන දෙකම පහළවේවායි පතමි!
No comments:
Post a Comment